Biz Log
Classifields
Biz Log
Classifields

දැන් කාලේ නැන්දම්මලා කැමැති කොයිවගේ ලේලිලාටද?

දිනක් රූපවාහිනි වැඩසටහනකට පැමිණි ජ්‍යොතිර්වේදියකු පැවසුවේ විවාහ අපේක්ෂාවෙන් සිටින ජෝඩු තම තමන්ගේ පොරොන්දම් ගළපනවාටත් වඩා නැන්දම්මාගේ කේන්දරය සමඟ තමන්ගේ කේන්දරය කොතරම් සෑහේද කියා බැලීම වටින බවයි. සිග්මන් ‍‍ෆ්‍රොයිඩ් කියන ආකාරයට අම්මලා වඩා ආදරේ පුතාලාට නම්, දස මාසයක් කුසේ දරාගෙන ලේ කිරිකර පොවා ඇහි පිල්ලමේ තබාගෙන ඇති දැඩි කළ තම පුතු වෙනත් ගැහැනියකට තමන්ට වඩා ආදරේ කරන බව දැනෙන විට ඇතිවන හැඟීම දන්නේ අම්මලා ම පමණි. ඒ වේදනාව සමනය කිරීමට සමත් රූප සොබාවක් සහ ගතිගුණ ඇති තරුණියක සොයා ගන්නට පුතණ්ඩියා සමත් වුණොත් සැබැවින්ම එය නැන්දම්මාගේ හා ලේලියගේ කේන්දර සීහුණා වැනිය. 

නැන්දම්මා ලේලි කියූ සැණින් අපේ සිතට එන ඊළඟ වචනය ආරවුල් කියා ඇතැමුන් කියුවද, තමන් සොයන ආකාරයේ ලේලියක හමු වූවිට පුතාටත් වඩා ලේලියට ආදරය වන අම්මලා ද නැතුවාම නොවේ. විවාහක පුතු වෙනත් කාන්තාවක හා යළි විවාහ වූ බව දැනගත් පසු, පළමු ලේලිය වෙනුවෙන් උසාවි ගිය නැදිමයිලන් ජෝඩුවක් ගැන අසන්නට ලැබීම එයට හොඳම නිදසුනකි. ඒවා මේවා කොහොම වුණත් අපේ රටේ තරුණයන් බහුතරයකගේ අම්මලා සොයන්නේ සුදට හුරු තලෙළු පැහැති ලේලියන් බව අපේ සමීක්ෂණයෙන් තහවුරු වී තිබේ. මනමාලිය වන දවසට කොණ්ඩ මෝස්තරයක් හෝ දැමිය හැකි තරමේ දිග කොණ්ඩයකට හිමිකම් කීම ද ඔවුහු ලේලියකගෙන් බලාපොරොත්තු වෙති. ඕනෑවට වඩා ලස්සන ලේලිලාට සමහර අම්මලා අකමැති වන්නේ ඒ රූප ස්වභාවය ම තම පුතාට අනාගතයේ කරදරයකට මුල පුරයි කියන බිය නිසාය. ඒ නිසා සියයට 65 ක්ම මවුවරු තරමක් පෙනුමැති ලේලියන්ට වැඩි කැමැත්තක් දක්වති. ඒ ලේලියන් අඩුම තරමින් උසස් පෙළවත් සමත් වී සිටිය යුතුය යන මතයේ සියයට 90 ක් මවුවරු සිටිති. එයට හේතුව උගත්කමක් ඇති විට පවුල් ජීවිතයේ ඇතිවන ප්‍රශ්න පහසුවෙන් විසඳා ගත හැකි බවට ඔවුන් අත්දැකීමෙන් දැන සිටීමයි. එහෙත් ඇඟලුම් ක්ෂේත්‍රයේ නියුතු මවුවරුන්ගෙන් සමහරුන් කීවේ ලේලියක ඕ ලෙවල් සමත් නම් පවුලක් ගොඩදා ගත හැකි අන්දම තේරුම් ගැනීමට ඒ ඇති කියාය. තම පරපුර ඉදිරියට ගෙන යන්නට දරුවන් හදන්නට සිටින ලේලිලා රැකියාවක් කරනවාට නැන්දම්මලාගෙන් හරි අඩක් අකමැත්ත ප්‍රකාශ කිරීම විශේෂයකි. ගෘහණියන් ලෙස සිටිමින් තම විවාහ ජීවිතය සාර්ථක කරගත් මෑණිවරුන් පවසන්නේ ආසියාතික කාන්තාවකට උරුම පවුල් ජීවිතය සාර්ථක වන්නේ බිරිය රැකියාවකට නොයන තරමට කියාය. එහෙත් රාජ්‍ය හා පෞද්ගලික අංශවල නිලතල දරන මවුවරු මෙන්ම ගුරු, වෛද්‍ය, ඇඟලුම්, නීති, බැංකු, ව්‍යාපාරික හා ගණකාධිකාරී ක්ෂේත්‍රවල නියුතු මවුවරු නම් සිය ලේලිය කුමක් හෝ රැකියාවක නියුතු විය යුතු බව විශ්වාස කරති. එය වෙලාවට ගෙදර ආ හැකි රැකියාවක් නම් වඩා හොඳ බව ඔවුන්ගේ ද මතයයි. රැකියාවක නිරත නොවීම පුතාගේ රාජකාරි පිළිබඳ සැක පහළ කිරීමට හේතුවක් විය හැකි බව ඔවුන් පවසද්දි රැකියාවක නිරත වීම නිසා ඇති වන ඇතැම් සම්බන්ධකම් තම පුතාගේ විවාහ ජීවිතයට බලපානු ඇති බව අනෙක් පසින් ගෙනෙන තර්කයයි.

කුමන රැකියාවක් කළත් නැතත් තමන්ගේ පුතාට තමන් උයා පිහා දුන්නාටත් වඩා හොඳින් රස මසවුළු තනා කන්නට දීම ලේලියගේ වගකීම බව සියයට 90 ක් මවුවරුන්ගේ තීරණයයි. එහෙත් ගණකාධිකාරි, කළමනාකරණ වෛද්‍ය වැනි ක්ෂේත්‍රවල නියුතු ඇතැම් මවුවරුන් පැවසුවේ කසාද බැඳ සතිය දෙක යන විට ඕනම ගැහැනියකට ඉහුම් පිහුම්වලට හුරුවන්නට සිදුවන නිසා කලින් දැන සිටීම අත්‍යවශ්‍ය කරුණක් නොවන බවයි. අවශ්‍ය නම් තමන් ළඟට පැමිණ උයන්න උගෙන ගත හැකි බවට ද ඇතැම් මවුවරුන් ලේලිලාට කළ ආරාධනා ද මේ අතර තිබිණි. ඉහුම් පිහුම් මෙන්ම මැහුම් ගෙතුම් ගැනද ලේලිලා දැනගත යුතුමයි කීවේ සියයට 20 ක් පමණි. තවත් ඒ හා සමාන ප්‍රතිශතයක් කීවේ ඕනෑ තරම් රෙඩි මේඩ් ඇඳුම් ඇති රටේ මහන්න දැන ගැනීම ප්‍රයෝජනවත් නැති බවයි. එහෙත් සියයට 60 ක් ම මවුවරු ගෙතුම් කෙසේ වෙතත් මැහුම් දැන සිටීම යම් මොහොතක ප්‍රයෝජනවත් විය හැකි බව සිතති. තමන් දීගතල යන විට ඒ දේවල් දැන සිටීම වැදගත් වූ බව ද තරමක් වැඩිහිටි මවුවරුන්ගේ අදහසයි. ඉවීම ගැන මෙන්ම මැසීම ගැන ද දැන ගන්නට ඕනැ නම් තමන් ළඟට එන්නැයි කී අම්මලා ද මේ අතර වෙති. ඒ සියල්ල දන්නවා වුවත් ලේලිය කුලෙන් අඩු නම් ගෙට වද්දා ගැනීම ප්‍රශ්නවලට මුලක් බව තරුණ පුතුන් සිටින මවුවරුන්ගෙන් තුනෙන් එකකගේ විශ්වාසයයි. එවැනි බලපෑමක් නැති නිසාත් නාගරික පරිසරයේ කුලමල කලවම් වී ඇති නිසාත් එය සෙවීමෙන් පලක් නැති බව තවත් තුනෙන් එකකගේ මතයයි. ඉතිරි පිරිස පවසන්නේ පුතාගේ කැමැත්ත අනුව කරන තෝරා ගැනීමකදී ඒවා සෙවීම අපහසු වුවත් හොඳ කුලයක වීම වඩා හොඳ බවය. කුලය කුමක් වුවත් පවුලේ පසුබිම තමන්ට ගැළපීම අත්‍යවශ්‍ය බව සියයට සියයක්ම මවුවරු විශ්වාස කරති. සමාජයේ යහපත් මිනිසුන් ලෙස ජීවත් වන මවුපියන්ගේ දූවරු යහපත් ලෙස හැදී වැඩෙනු ඇති බවයි ඔවුන්ගේ ආකල්පය වන්නේ. එවන් යහපත් උගත් කුල කතක් සමඟ ඕනෑම ආරවුලක් කතා බහෙන් විසඳාගත හැකි බවද බොහෝ මවුවරුන්ගේ හැඟීමයි.

තම පුතාගේ වැරැද්දක් වුවත් රණ්ඩු සරුවලකින් තොරව පෙන්වා දී යහමඟට ගත හැකි යහපත් බිරින්දෑවරුන් සොයා ගැනීම ඒ මවුවරුන් පුතුන්ගෙන් පතන විශාලම අස්වැසිල්ලයි. එසේ සියයට 60 ක් මවුවරුන් සිතුවත් සමහර ගෘහිණියන් හා ගුරුවරියන් පවසන්නේ පුතාට වඩා අඩියක් පස්සෙන් සිටින ලේලිලා වාසනාවන් කියාය. විශේෂයෙන් ආසියාතික රටවල පිරිමින්ට වඩා ගැහැනු තරමක් පසුබා සිටිය යුතු බව බොහෝ ගෘහිණියන්ගේ විශ්වාසයයි. එවන් කීකරු බිරියන් පතන මවුවරුන්ගෙන් සියයට 80 ක් පවසන්නේ දෑවැද්දක් අනවශ්‍ය බවයි. එහෙත් තමන්ට කළ හැකි මට්ටමින් සියල්ල තම පුතුන්ට ලබා දෙනවා සේම ලේලියගේ මවුපියන් යුතුකම ඉෂ්ට කරනවාට අකමැති අය නැත. දෑවැද්ද ලැබුණොත් අලුත් යුවළට යම් ශක්තියකින් ගමන යා හැකි නිසා එවැන්නක් තිබීම හොඳ බව සියයට 20 ක් මවුවරුන් පැවසුවේ තමන්ට දෑවැද්ද ලෙස ලැබුණු ඉඩමේ දෙදෙනා එකතුව ගෙයක් ‍දොරක් සාදා ගත්තා වැනි උදාහරණ දක්වමිනි. එසේ තනාගත් කුටුම්භයේ සාමය සතුට පවතින්නේ බිරිය ගාණකට කතාබහ කරන සුහදශීලී ආදර”ය තැනැත්තියක වුණොත් බව තුනෙන් දෙකකට වඩා මවුවරුන්ගේ මතයයි. අඩුවෙන් කතා බහ කරන පුතුන්ගේ මවුවරුන් නම් කීවේ ලේලිය ද අඩුවෙන් කතා කරන තරමට පුතාට කරදරයක් නැතිව සිටිය හැකි බවයි. එහෙත් කතාබහට වැඩි කැමැත්තක් දක්වන නැන්දම්මලට නම් කයිය ගහන්න පුළුවන් ලේලිලා වටින බව ද අපේ සමීක්ෂණය අනුව සොයා ගත හැකි විය. එවන් ලේලියක් සොයා ගන්නවා නම් ආදර සම්බන්ධයක් මඟින් පුතනුවන් ඒ තෝරා ගැනීම කිරීම පිළිබඳ සියයට 85 ක් පමණම මවුවරු කැමැත්තෙන් සිටිති. යෝජනාවකින් තමන්ටත් සුදුසු පුතාටත් ගැළපෙන තරුණියක තෝරා ගැනීම ද වරදක් නැතැයි කීවේ සියයට 15 ක් පමණි. ආදර සම්බන්ධයකින් හෝ වේවා යෝජනාවකින් හෝ වේවා තෝරා ගන්නා ලේලියගේ පාරිශුද්ධත්වය ගැන තමන් කරදර නොවන බව සියයට හැටක් පමණ මවුවරුන්ගේ අදහසයි. එහෙත් ඔවුන්ගේ පෙර සබඳතා වැඩිදුර නොගිය ඒවා විය යුතු බව නම් සියලු මවුවරුන් දැඩිව අපේක්ෂා කරන කරුණකි. සමහර මවුවරුන් කීවේ තමන් ඒවා නොබැලුවත් සාම්ප්‍රදායික මතවලට ගරු කරන අයුරින් හැදී වැඩුණු තම පුතුන් ඒ ගැන දැඩි සැලකිල්ලක් දක්වනු ඇති බවයි. ඔය කොයි සුදුසුකම තිබුණ ද ග්‍රහයා හරස් වුණොත් විශාල බාධාවක් වන බව සියයට අසූවකට වැඩි මවුවරුන්ගේ මතයයි. කේන්දරය එතරම් බලපාන්නේ නැතැයි විශ්වාස කළේ හයෙන් එකකටත් වඩා අඩු පිරිසකි.

කෙසේ වෙතත් තමන්ගේ ජාතියෙන් ආගමෙන් පිට තරුණියක ගැන නම් කිසිදු මවකගේ කැමැත්තක් නැති බව පෙනිණි. ඉංග්‍රීසි දැනුම තරමක් හෝ තිබිය යුතු වුවත් බටහිර පන්නයට හැදුණු තරුණියන් තම පුතාගේම කැමැත්තට යාළු වනවා හැර තමන්ගේ ආගම දහමට නැඹුරු සිරිත් විරිත් සපිරි සංස්කෘතියට ගැළපේ ද යන්න ගැන ද මවුවරුන්ට ඇත්තේ සැකයකි. අවුරුදු විසි පහක්වත් පනින තුරු දරුවකු හදා වඩාගෙන වයසට යන මවුපියන්ට සැලකීම දරුවන්ගේ පරම යුතුකම වුවද බොහෝ මවුවරුන් කීවේ අපට නොසැලකුවත් දෙදෙනා සතුටින් සිටිනවා නම් එය තමන්ට සතුටක් බවයි. එසේම විස්තීරණ පවුලක් ලෙස තමන් ළඟම දරුමුනුපුරන් සිටිය යුතු බව තදින් ම විශ්වාස කළ සියයට දහයක් මවුවරුන් හැරුණු කොට අන් සියලු දෙනා කීවේ දරුවන් නව කැදැල්ලක නිදහසේ ඔවුන්ගේ ජීවිත ගෙවීම අද කාලේ හැටියට දෙගොල්ලන්ගේ ම පහසුවට හේතුවන බවයි. දරුවන් වෙනුවෙන් අනේක දුක් කම්කටොලු විඳි අම්මලාගේ එකම පැතුම තම කුසින් වැදූ පුතුන් සතුටින් සිටිනු දැකීම බව ඉන් පැහැදිලි වනවා සේම එවන් මවුපියන්ට සලකන අනාගත බිරියක් සොයා ගැනීම පුතුන්ගේ වගකීම නොවන්නේ ද?

(සමීක්ෂණයට ලක් වූ මවුවරුන් නිරත ක්ෂේත්‍ර ගෘහණියන්, රජයේ සේවිකාවන්, පෞද්ගලික අංශයේ විධායක නිලධාරිනියන්, වෛද්‍ය, නීති, බැංකු, ව්‍යාපාරික, ගණකාධිකාරි, ගුරු, ඇඟලුම්)
උපුටා ගැනීම සිළුමිණ පුවත් පත