Biz Log
Classifields
Biz Log
Classifields

ආදරවන්තයා කර ගන්නත් එයා හොඳ කෙනෙක්


අපූර්වා ආශාවරි කියන්නේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරු මාවත තුළින් සංගීත ලොවට දායාද වුණු තවත් තරුවක්. යසිත් කෙලඹිආරච්චි ගැයූ සීතල හාදුවකින් සින්දුවේ ෆීමෙල් වර්ෂන් එක ගයන්නේ අපූර්වා ආශාවරි. ඒ එක්කම මේ දිනවල අපූර්වා ආශාවරිගේ ආදර කතාවක් ගැනත් පැතිර යනවා. මේ සියල්ල ගැනම කතා කරන්න අපි අපූර්වා ආශාවරිව රසඳුන කතාබහකට එකතු කර ගත්තා.

සීතල හාදුවකින් සින්දුවේ ෆීමෙල් වර්ෂන් එක අපූර්වාගේ හඬින් ඇහෙන්නේ. කොහොමද ලැබෙන ප්‍රතිචාර?

එෆ්. එම් දෙරණ හි ගයාන් අයියා සහ රොෂන් අයියා තමයි මට රික්වෙස්ට් කරේ ඒක කියන්න කියලා. ඊට පස්සේ ඒක අහපු සින්දුවේ මුල් හිමිකරු සජිත් අයියා මට කතා කරලා කිව්වා එකේ කවර් එකක් කරමු කියලා. දැන් සින්දුව ට්‍රෙන්ඩින්වල 8 වන තැන තියෙන්නේ. ගොඩක් අය ආදරේ කළා ඒ සින්දුවට ගොඩක් ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. ඒ ගැන නිහතමානී සතුටක් තියෙනවා.

සංගීත සංදර්ශන සඳහා විදෙස්ගත ප්‍රසංගවලටත් ඇරයුම් ලැබෙනවද?

ඔව්. ඇරයුම් ලැබෙනවා. ඉදිරියටත් සංචාර කිහිපයක්ම තියෙනවා. ඒ සඳහාත් සහභාගී වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

මේ වෙද්දී රටවල් කීයක සංචාරය කරන්න ලැබුණද?

දැනට රටවල් 3ක විතර සංචාරය කරන්න සහ ප්‍රසංගවලට සහභාගි වෙන්න අවස්ථාව ලැබුණා.

දැන් රංගනයටත් සම්බන්ධයි නේද? මුල්ම නිර්මාණය සහ ඒ හරහා ලැබුණ අත්දැකීම කොහොමද?

මගේ පළමු රංගන අත්දැකීම ටීවී දෙරණ ටෙලි ෆිල්ම් එක “ඉරයි හඳයි”. ශර්මිලා ධර්මරාසා ෆොන්සේකා තමයි මට ඒ අවස්ථාව ලබා දුන්නේ. එතුමියව ආදරෙන් මතක් කරන්න ඕනේ. ඒ අවස්ථාව තුළින් මට මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් එක්ක වැඩ කරන්න ලැබුණා. ඒක මම වගේ ආධුනික රංගන ශිල්පිනියකට ලැබෙන ලොකු වටිනා දෙයක්. ඒ නිසා මගේ ජීවිතේ නොහිතපු පැත්තක් ගැන හිතන්න පුරුදු වුණා. රංගනය කියන්නේ මට මගේ ඇඟේ තියෙනවා කියලා හිතිලා තිබ්බේ නැහැ. මට ලැබුණු ඒ චරිතය තුළින් මම දැන ගත්තා මටත් මා නොවන චරිත නිරූපණය කරන්න හැකියාවක් තියෙනවා කියලා.

දිගටම රඟපාන්නද කැමැත්ත?

දිගටම නම් රඟපාන්න කැමති නැහැ. මොකද රංගනය කියන්නේ මගේ විෂය නෙවෙයි නිසා. මට උපරිමයෙන් පුළුවන් කියලා විශ්වාස කරන්නේ ගායනය. මගේ සහජ කුසලතාව තියෙන ගායනය පැත්තෙන් ඉදිරියටම යන්න තමයි බලාපොරොත්තුව. ඒ නිසා රංගනයෙන් මාව දකින්න ලැබෙන එකක් නැහැ.

අලුත් නිර්මාණ කටයුතු මොනවද?

මගේම ගීත දෙකක් මේ වෙද්දී නිර්මාණය කළා. එහි රූපගත කිරීම් කටයුතු තියෙනවා. ඒ වැඩ කටයුතුවලට තමයි මේ ගෙවෙන කාලය වෙන් කරලා තියෙන්නේ. තව අලුත් නිර්මාණයක් කරන්නත් ඉන්නවා.

රංගන ශිල්පියෙක් එක්ක පෙමින් බැඳිලා කියන්නෙ ඇත්තද?

ප්‍රේමය කියන්නේ මිනිසුන්ට ඕනේ දෙයක්. ප්‍රේමයට අපේ වෘත්තීය අදාළ වෙන්නේ නැහැ. මේ දවස්වල රංගන ශිල්පියෙක් එක්ක මගේ නමත් කතා වෙනවා. අපි බලමු ඉස්සරහට. ඒ තුළින් මගේ වෙනස් විදියහේ අලුත් නිර්මාණයක් වෙන්නත් පුළුවන්.

අපූර්වාගේ ඒ ආදර කතාවත් කියමුද?

මාව පෞද්ගලිකව මේ තැනට ගෙනාවේ අපේ ආදරණීය ප්‍රේක්ෂකයින්. ඒ නිසා ප්‍රේක්ෂකයින්ට ඕනේ අපෙන් හොඳ නිර්මාණ මිසක් අපේ පෞද්ගලික දේවල් නෙවෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා පෞද්ගලික ජීවිතේ දේවල් ඒ ඒ වෙලාවන්වලදී හරි විදිහට සිද්ධ වුණාම ප්‍රේක්ෂකයින් දැන ගනීවි. ලස්සන නිර්මාණවලින් ප්‍රේක්ෂක හිත් සතුටු කිරීම මට තියෙන වගකීම. ඒ වගකීම මම හරියටම ඉෂ්ට කරනවා.

සංජය ආදරවන්තයා විදිහට තෝරා ගන්න හිතුණේ ඇයි?

සංජය අයියා කියන්නේ මගේ ජීවිතේ සමීපම කෙනෙක්. අපි අතරේ ලොකු තේරුම් ගැනීමක් තියෙනවා. සංජය අයියා කියන්නේ විවෘත චරිතයක්. ඔහු ආදරවන්තයා විදිහට නෙවෙයි මගේ ජීවිතේ ඉන්නේ. හැබැයි මට සමීපම හොඳම මිතුරෙක් විදිහට මම එයාට ගරු කරනවා. එයාට හොඳ විදිහට මිනිස්සුන්ව තේරුම් ගන්න පුළුවන්. ඒ ගැන මට හරිම සතුටුයි. ආදරවන්තයා විදිහට තෝරා ගන්න වුණත් එයා හොඳ කෙනෙක්. අපිට ඕනෙත් ආදරයේ දී ආදරණීය සහ අපි ගැන සොයා බලන කෙනෙක්නේ. ඒ නිසා එයා ආදරවන්තයා විදියටත් සුදුසුයි.

මේ අවුරුද්දේ මංගල සීනු හැඬ වෙයිද?

අනේ නැහැ. දැන්ම නම් මංගල සීනු හැඬ වෙන්නේ නැහැ. මට තාම අවුරුදු 21යි. මගේ ජීවිතේ මම වැඩ ටික පටන් ගත්තා විතරයි. මට කරන්න ගොඩක් වැඩ තියෙනවා. කොහොමත් තව අවුරුදු හත අටක් යනකම්ම මම මාව මෙතනට ගෙනාපු ප්‍රේක්ෂකයින් බලාපොරොත්තු වෙන දේම මම දෙනවා. ඒ නිසා තව අවුරුදු 10ක් විතර යනකම් නම් මංගල සීනු හැඬ වෙන එකක් නැහැ.

කටකතා ගොසිප් ගැන මොකද හිතෙන්නෙ?

ගොසිප් කියලා කියන්නේ මේ සමාජය ඇතුළේ තියෙන මිනිසුන් හරිම ආසාවෙන් වැලඳ ගන්න දෙයක්. මිනිස්සු හොඳ දෙයකට වඩා ඉක්මනින් වැලඳ ගන්නේ කටකතා සහ ගොසිප්. ඒක අපිට වෙනස් කරන්නත් බැහැ. මම ගොසිප්වලට මුහුණ දෙන විදිහ නම් හරිම දුර්වලයි. මොකද ගොසිප් ගැන මම ගොඩක් හිතනවා. මම තාම මේ ක්ෂේත්‍රයේ මුල් කාලයේ ඉන්න නිසාද දන්නේ නැහැ. මට ඒ දේවල් දරා ගන්න බැහැ. ගොසිප් කියන්නේ මනුෂ්‍යයෙක් තව කෙනෙක්ට දැනෙන දෙයක් කරාම හැදෙන දෙයක්. දැනෙන දේවල් නොකර මිනිසුන්ට කවදාවත් කටකතා හෝ ගොසිප් හැදෙන්නේ නැහැ. පල ඇති රුකට ගල් ගසනවා වගේ. මෙයා ඉස්සරහට ආවොත් අපිට ප්‍රශ්නයක් වෙයි වගේ ලංකාවේ හිතන මිනිස්සු කටකතා හදනවා. මම හිතනවා කාලයත් එක්ක ඔය දේවල් මඟහැරිලා යාවි. කාලයක් යද්දී අපිට කටකතා ගොසිප් හදපු අයම අපේ නිර්මාණ අගය කරයි.

ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?

මගේ අම්මා මල්ලි සහ පවුලේ අය ලොකු සහයෝගයක් දෙනවා. මගේ තාත්තා නැහැ. මාව පොඩි කාලේ ඉඳන් මේ තැනට ගෙනාවේ මගේ අම්මා. අම්මා මට දුන්න ඒ ශක්තියට සහයෝගය ගැන මට අදටත් හිතාගන්න බැහැ. අම්මා මේ දේවල් කොහොම කරාද කියලා. එයාගේ තනි හයියෙන් මේ ගේම් එක ගැහුවේ. මට තමයි ඉදිරියට අරගෙන යන්න තියෙන්නේ. මගේ වටේ ඉන්න මගේ යාළුවන් සහ මට ආදරේ කරන ප්‍රේක්ෂක ජනතාව එක්ක ආපු ගමනක් මේක. මම ආව පළමු දවසේ ඉඳන්ම මට ලබා දෙන ප්‍රේක්ෂක ආදරේටත් මම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. ටීවී දෙරණ මට දුන්නු සහයෝගය සහ ප්‍රේක්ෂක ආදරේ නිසයි අද මම මෙතන ඉන්නේ.

අනාගත බලාපොරොත්තු මොනවද?

කවදා හරි දවසක ලංකාවේ නමක් තියපු ගායිකාවක් වෙන්න ආසයි. ඒ ගමන තමයි මම මේ හෙමින් යන්නේ. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මගේ උපාධිය කර ගන්න ඕනේ මේ අවුරුද්දේ. ඉගෙනීම පැත්තෙන් ඒ අරමුණත් තියෙනවා. තව පෞද්ගලික විශ්වවිද්‍යාලයකත් අධ්‍යාපනය ලබනවා. ඔය වැඩ කටයුතු සාර්ථක කර ගන්න ගමන් ලස්සන අනාගතයකට ගිහින් කවදා හරි ආපස්සට හැරිලා බලද්දී මට මගේ ගැන සතුටු වෙන්න මම කැමතියි. අධ්‍යාපන කටයුතු සහ සංගීත වැඩ කටයුතු කරගෙන මගේ පවුලේ අය එක්ක සතුටින් ඉන්න ඕනේ. මගේ තාත්තට දෙන්න බැරි වුණු දේවල් මගේ අම්මට දෙන්න ඕනේ. මම විශ්වාස කරන දේ තමයි මම මගේ ජීවිතේ තුළ කාටවත් වරදක් නොකරන තාක් කල් මට ලැබෙන්න ඕනේ දේවල් ලැබෙයි සහ මට මගේ ගමනට ශක්තියක් වෙයි කියන එක.

අනුෂා රණසිංහ
උපුටා ගැනීම සිළුමිණ