Biz Log
Classifields
Biz Log
Classifields

අපි දෙන්න අතරෙ තියෙන මේ තේරුම් ගැනීම තමයි අපේ සාර්ථකත්වයට හේතුව

දෙරණ නාළිකාවේ විකාශය වන ‘සිත නිදි නෑ‘ ටෙලි නිර්මාණයේ සඳලි, ස්වර්ණවාහිනී නාළිකාවේ ‘බයිස්කෝප්‘හි ආරාධනා මෙන්ම හිරු නාළිකාවේ ‘බඹරෙක් ඇවිත්‘ ටෙලි නිර්මාණයේ රංජනී ලෙසින් මේ දිනවල ඔබ හමුවට එන ඇය ගැනයි අද අපේ කතාබහ.

ඇය නමින් නයෝමී පෙරේරා. ආදරණීය සැමියා බුද්ධික සේමසිංහ හෙවත් ක්ෂේත්‍රයේ බොහෝ දෙනා හඳුන්වන යුගයේ කතාකාරයාගේ ඇසුරේ රංගන දිවියට අත්පොත තැබූ ඇය මේ වනවිට බොහෝ දෙනාගේ කතාබහට ලක්වන දක්ෂ රංගන ශිල්පිනියක් ලෙස තම හැකියාව ඔපමට්ටම් කරගෙන සිටින්නීය. ටෙලි නිර්මාණ ත්‍රිත්වයක් ඔස්සේ බොහෝ සේ කාර්යබහුල වී සිටින ඇය අප හා එක්වූවාය.

ටෙලි නිර්මාණ ත්‍රිත්වයක ස්වරූප ත්‍රිත්වයකින් මේ දිනවල ඔබ දකින්න ලැබෙනවා?

ඔව්. තිළිණ බොරලැස්සගේ ‘සිත නිදි නෑ‘ ටෙලි නිර්මාණයේ සඳලි කවුරුත් හඳුන්වන විදිහට සඳූ කියන්නේ ගමේ හැදෙන තරුණියක්. තමන්ගෙ පෙම්වතා නගරයේ විශ්වවිද්‍යාලයට ඇවිත් වෙනත් තරුණියක් එක්ක සම්බන්ධයක් පවත්වද්දිත් තමන්ගෙ ආදරය ඕනමයි කියන තැන ඉන්න තරුණියක්. ඒ වගේම ස්වර්ණවාහිනියේ විකාශය වන ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ බයිස්කෝප් ටෙලි නිර්මාණයේ ආරාධනා එහෙම නැත්නම් මුළු ගෙදරටම මැණික කියන්නෙ ඊට ටිකක් වෙනස් චරිතයක්. උඩුරාවණ නිලමේගේ එකම දුව විදිහට තාත්තගේ නිලයේ මහන්තත්තකමත් ඔළුවට අරන් ඉන්න ඇය කාටවත් සෙකන්ඩ් වෙන්න අකමැති තරුණියක්. ‘බයිස්කෝප්‘ මට තව විදිහකින් විශේෂ වෙන්නේ ඒක තිර රචනය කරන්නේ මගේ සැමියා බුද්ධික නිසා.

ඒ වගේම හිරු නාළිකාවේ විකාශය වෙන චරිත් අබේසිංහගේ බඹරෙක් ඇවිත් වෙනමම කතාවක්. ඒක පීරියඩ් කතාවක්. ඒ කියන්නේ යම්කිසි කාල පරිච්ඡේදයක් පාදක කරගෙන සැකසුණු නිර්මාණයක්. මං ගොඩක් ආසාවෙන් හිටිය පීරියඩ් ඩ්‍රාමා එකකට සම්බන්ධ වෙන්න. චරිත් අයියා මට ඒකට කතා කළ එකට ගොඩක් සතුටුයි. මේක 70/71 කාලයේ කතාවක්. ඔහුමයි ප්‍රධාන චරිතය කරන්නේ. ඒ කාලෙ විදිහට අඳින පලඳින, කතාබහ කරන, හැසිරෙන රංජනී කියන චරිතය මට අලුත් අත්දැකීමක් වුණා. චරිත් අබේසිංහ කියන්නෙත් දක්ෂ අධ්‍යක්ෂවරයෙක්. මට ඔහුගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා. මුලින්ම මං නිර්මාණයකට සම්බන්ධ වෙන්නේ තිළිණ බොරලැස්ස එක්ක.

බයිස්කෝප් කියන්නෙ ඔබේ සැමියා රචනා කරන ටෙලි නිර්මාණයක්. ඒ අත්දැකීම කොහොමද?

මුල් කොටස් ඔහුගේ තිර රචනය යටතේ විකාශය වුණාට මේ වෙද්දි ඔහු බයිස්කෝප් ටෙලි නිර්මාණය රචනා කිරීමෙන් අයින් වෙලා ඉන්නෙ. ඒක ප්‍රඩක්ෂන් එකේ ගැටලුකාරී තත්ත්වයක් නිසා ඇතිවුණු දෙයක්. ප්‍රඩක්ෂන් එකේ කෙළින්ම බලපෑමක් නිසා කතා කරල විසඳගන්න බැරිම තැන එයා නිර්මාණයෙන් අයින් වුණා. එතැනදි ආර්ටිස්ට්ල 12 දෙනෙක් විතර නිර්මාණයේ වුණු වෙනස් වීමත් එක්ක තවදුරටත් සම්බන්ධ වෙන්න බෑ කියලා කතා වෙලා ඒකමතික තීරණයකට ඇවිත් අයින් වුණා. ඒ අය අතරට මාත් එකතු වුණා. අපි ඔක්කොම එකටම සම්බන්ධ වුණු අය. කෙනෙක් හිතන්න පුළුවන් බුද්ධික මගේ සැමියා නිසා එයා අයින් වුණ නිසා එයා මාව අයින් කර ගත්ත කියලා. නෑ එහෙම දෙයක් නෙවෙයි. එයා මගෙ සැමියා කියන තැන ඉඳන් නෙවෙයි මම මේ තීරණය ගත්තේ. මම ඒකට රංගනයෙන් දායක වුණු ආර්ටිස්ට් කෙනෙක් විදිහට තමයි ඒ තීරණය ගත්තේ. බුද්ධික අයින් වුණේ කලින්ම. තිර රචකයාගේ ඉවත් වීම චරිතවල රිදම් එකට බලපාලා අපේ චරිතවලට මොනවා වෙයිද කියන එක තමයි අපි හැමෝටම ගැටලුව වුණේ. ඒ නිසා හැමෝම කතාවෙලා අයින් වුණා. මේ වෙද්දි අපි රූගත කළ කොටස් අවසන්.

නයෝමි කියන්නෙ දක්ෂතා රැසක් හිමි කෙනෙකුගේ ආදරණීය බිරියක්. ඒ ගැන මොකද හිතෙන්නේ?

ඔව්. බුද්ධික කියන්නේ දක්ෂතා ගොඩක් තියෙන කෙනෙක්. බුද්ධික දැන් තිර පිටපත් රචකයෙක් වුණාට ඔහු කලින් රංගනය පැත්තටත් යොමුවෙලා හිටියා. ඒ වගේම ඔහුට අධ්‍යක්ෂණය පැත්තෙන් දක්ෂතාත් තියෙනවා. ඔහුගේ අධ්‍යක්ෂණයෙන් සිදුවුණු ජනප්‍රිය නිර්මාණ තියෙනවා. තිර රචනය පැත්තට වැඩිපුර යොමුවීමත් එක්ක එයාට අනෙක් පැතිවලින් ඈත්වෙන්න වුණා. බයිස්කෝප් කියන්නෙත් ඔහුගේ ජනප්‍රියත්වයට පත්වුණු ටෙලි නිර්මාණයක්. ඔහු ලියන තිර පිටපතකට දායක වෙන එක මට ගොඩක් පහසුයි. ඔහු මට හැමදේම කියල දෙනවා. ඔයා මේ දෙබස මෙහෙම කියන්න. මෙහෙම කරන්න ඒ වගේ. ඔහුගේ නිර්මාණවලට සම්බන්ධ වෙද්දි ඒක මට ලොකු පහසුවක්. වෙන අයගේ නිර්මාණවලදිත් ඔහු මාව දැනුවත් කරනවා. අපි දෙන්න අතරෙ තියෙන මේ තේරුම් ගැනීම තමයි අපේ සාර්ථකත්වයට හේතුව.

ඉදිරියේ දී ජීවිතේ වෙනසක් එහෙම වෙන්න බලාපොරොත්තුවක් නැද්ද?

සම්බන්ධ වෙලා ඉන්න නිර්මාණත් එක්ක අපි දෙන්නම ගොඩක් කාර්යබහුල වෙලා ඉන්නෙ. තවත් නිර්මාණයකට ආරාධනා ලැබිල තියෙනවා. ඒ වගේම බුද්ධිකත් ටෙලි නිර්මාණයක් අධ්‍යක්ෂණය කිරීමේ සූදානමින් ඉන්නවා. මේ දවස්වල ඒකෙ වැඩ තමයි කෙරෙන්නේ. ඒ නිසා තව අවුරුදු දෙකක් විතර මේ වගේ ගෙවිල යාවි.

අපි දෙන්නගෙ අවබෝධය තේරුම් ගැනීම නිසා අපි හරිම ආදරෙන් සතුටින් අපේ ජීවිතේ ගෙවනවා.

නාමලි ගමගේ
උපුටා ගැනීම සිළුමිණ