Biz Log
Classifields
Biz Log
Classifields

එයා වටේටම කෝල් කරලා මාව හොයන්නේ නෑ ඒක තමයි මගේ නිදහස.

ලලයි ලිලයි ලයි හි රාධිකා කියන්නේ මේ දිනවල කාගේත් කතාබහට ලක්වෙලා ඉන්න චරිතයක්. රාධිකාට ජිවය දෙන්නේ රාධිකා ගුණවර්ධන. ඇය අපිට මින් පෙරත් විවිධ නාට්‍යය නිර්මාණ තුළින් එකිනෙකට වෙනස් වූ චරිත තුළින් මුණගැහුණා.

රාධිකාට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

“ලලයි ලිලයි ලයි” හි මගේ චරිතේ නමත් රාධිකා. දැන් හැමෝම දන්නවා රාධිකා කිව්වම. ටික් ටොක් එකෙත් මේ දවස්වල වයිරල් වෙනවා. ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

හිතුවද මේ තරම් ප්‍රතිචාර ලැබෙයි කියලා?

ඇත්තටම මම හිතුවේ නැහැ මේ තරම් ප්‍රතිචාර ලැබෙයි කියලා නම්. මම ෆස්ට් ටයිම් තමයි දිය රෙද්දක් ඇන්දේ. එතකොට සුපුන් රත්නායක තමයි මට මේ විදියට දිය රෙද්දක් අඳින චරිතයක් දුන්නේ. දිය රෙද්ද ඇඳන් ඉන්නකොට අතින් අඳින කොටස තමයි මුලින්ම හිට් වෙන්න ගත්තේ. ඊට පස්සේ දිගටම වයිරල් වෙලා යනවා.

රාධිකා පූර්ණකාලීන රංගන ශිල්පිනියක් ද?

නැහැ. මම රැකියාවක් කරන ගමන් රංගනයේ යෙදෙන්නේ. මම ඉන්දියාවේ කම්පැනි එකක උපදේශිකාවක් විදියට වැඩ කරනවා. කොරෝනා කාලෙන් පස්සේ මට තවම ඉන්දියාවේ යන්න බැරි වුණා. නැත්නම් මම මාස දෙකෙන් දෙකට ඉන්දියාවේ ගිහින් එනවා. මම ගොඩක්ම විදෙස්ගතව රැකියා කරපු නිසා අඛණ්ඩව රඟපාන්න බැරි වුණා. මේ වෙද්දී නම් ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ රැකියාවේ වැඩ කරන නිසා රංගනයට වැඩි ඉඩක් දීලා තියෙනවා.

එන්න තියෙන නිර්මාණ මොනවද?

“පශ්චිම යාමය” චිත්‍රපටය එන්න තියෙනවා. තව චිත්‍රපටයක් සහ ටෙලි නිර්මාණ කිහිපයක් එන්න තියෙනවා.

කාලයක් ඔබ ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස කටයුතු කළා නේද?

ඔව්.. සිරස නිව්ස් ෆස්ට් සහ ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රවෘත්ති නිවේදිකාවක් විදියට වැඩ කළා. ප්‍රවෘත්ති නිවේදිකාවක් කියන්නේ මම මාර විදියට ආදරේ කරන වෘත්තියක්. අදටත් මට ඇරයුමක් ලැබුණොත් බොහොම ආඩම්බරෙන් භාරගෙන කරනවා. මොකද හැම කෙනෙක්ටම ප්‍රවෘත්ති නිවේදිකාවක් වෙන්න බැහැනේ.

ජිවිතේ ලැබුණු අවස්ථා ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම සන්තෝසයි. මගේ ජිවිතේ හැමදේම මට ඉක්මනින් ලැබිලා තියෙනවා. මම උසස් පෙළ අවසන් වෙනවත් එක්කම ජොබ් එකක් කළා. ඉක්මනින් රට ගියා. ඉක්මනින් විවාහ වුණා වගේම මට දැන් දරුවන් තුන්දෙනෙක් ඉන්නවා. ලොකු පුතා මේ අවුරුද්දේ සාමාන්‍ය පෙළ කරනවා. මගේ වයස එක්ක බලද්දී පුතා ගොඩක් ලොකුයි. අපි දෙන්නා පාරේ යද්දී අක්කයි මල්ලියි වගේ. මගේ යාළුවන්ට ඉන්නේ තවම පොඩි බබාලා. දුවලා දෙන්නාගෙන් ලොකු දුව 8 වසරේ පොඩි දුව 2 වසරේ ඉගෙන ගන්නවා.

නිරූපණ ක්ෂේත්‍රයට එන්නේ කොයි කාලේ ද?

2005 දී. මිස් වර්කින් ගර්ල්. මිස් ශ්‍රීලංකා වුණා. කැප්රි කුවීන් එක දින්නා. එහෙම තමයි මේ ගමන ආවේ. මම වැඩිය ලංකාවේ හිටියේ නැති නිසා මගේ මුහුණ එච්චර හුරු නැති වුණා. දැන් “ලලයි ලිලයි ලයි” එකේ ඉන්න නිසා කට්ටිය මගේ ගැන කතා වෙනවා.

කොහොමද චරිත භාර ගන්නේ, සීමා මායිම් තියෙනව ද?

චරිත කියන්නේ මට ලොකු පුතෙක් සහ දුවලා දෙන්නෙක් ඉන්න නිසා මට යන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවා. ඒ අයට කවදා හරි දවසක මේ අපේ අම්මා කියලා කියන්න පුළුවන් වෙන්නත් එපැයි. ඒ නිසා මම හිතාගෙන ඉන්න සීමාමායිම් ඇතුළේ මට යන්න පුළුවන් උපරිම දුර යනවා. ඇඳුම්වලින් මට ප්‍රශ්න නැහැ, මම ඕනේ ඇඳුමක් අඳිනවා.

දරුවෝ තුන් දෙනෙක් ඉඳලත් මේ තරම් හැඬට ඉන්නේ කොහොමද?

මම බත් කන්නේ නැහැ. බත් කන්නේ නැහැ කියන්නේ නිකම්ම කෙට්ටු වෙනවා. මම ගොඩක්ම පලතුරු කන්නේ. ආමන්ඩ් කනවා. පිපිඤ්ඤා, වට්ටක්කා අමුවෙන් කනවා.

මේ ගමන එන්න ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?

මගේ හස්බන්ඩ්ගෙන් සීයට සීයක්ම සහයෝගය ලැබෙනවා. මගේ දරුවෝ තුන්දෙනත් හරිම ස්වාධීන චරිත තුනක්. එයාලගෙන් වුණත් කිසිම කරදරයක් නැහැ. මම ෂූටින් යන දවසට මගේ මහත්තයා තමයි දරුවන්ගේ වැඩ ඔක්කොම කරන්නේ. එයා සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවක් සහ ඉවෙන්ට්ස් කරන්නේ. ඔහු කලාවේ වැඩ නොකළත් මම ගොඩක් වෙලාවට ඔහු එක්ක යන නිසා කලා ලොවේ ගොඩක් අයව දන්නවා. මෙතැනදී ලැබෙන සහයෝගයට වඩා වටින්නේ එයා මා කෙරෙහි තියලා තියෙන විශ්වාසය. විශ්වාසය නිසයි මනස නිදහස්ව මේ වැඩ කරන්න පුළුවන් වෙන්නේ. සමහර ලොකේෂන්වල සිග්නල් නැහැ. එතකොට එයා වටේටම කෝල් කරලා මාව හොයන්නේ නැහැ. මට ඒ පැත්තෙන් ගත්තත් සීයට සීයක්ම නිදහස තියෙනවා.

දරුවන් කලාවට ආස නැද්ද?

පොඩි දුව තමයි සුනිල් ප්‍රේමරත්න මහතාගේ “ලොක්ඩවුන්” ෆිල්ම් එකේ හිටියේ. එතකොට අවුරුදු තුනහමාරයි. දැන් දෙරණ නාළිකාවේ යන ප්‍රාර්ථනා ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයක් කරනවා. රූපවාහිනී වෙළෙඳ දැන්වීම් ගොඩක ඉන්නවා. මගෙන් පස්සේ රංගන ක්ෂේත්‍රයේ එයා ගමනක් යයි. මට මේ ක්ෂේත්‍රයට එද්දී කිසිම සහයෝගයක් තිබ්බේ නැහැ. දුවට එහෙම නැහැ. මම නිසා දන්නා හඳුනා ගන්න අය ඉන්න නිසා මට පුළුවන් මට වඩා ලොකු ගමනක් දුවව අරගෙන යන්න.

ආපස්සට හැරිලා බලද්දී ජිවිතේ දකින්නේ කොහොමද?

අද ඉන්න තැන ගැන සතුටු වෙනවා. එක දෙයක් ලබා ගන්න නම් තව දෙයක් කැප කරන්න වෙනවා. 2007 මම සිරස කුමරිය තරගයට ආවට පස්සේ මට ගොඩක් අවස්ථා ලැබුණා රඟපාන්න. හැබැයි ඒක අත්හැරලා තමයි මම රට ගියේ මගේ මහත්තයා එක්ක ජොබ් එකට. රට ගියාම මට මගේ පුතා ලැබුණා. හැමෝම කිව්වේ ඇයි දැන්ම දරුවෝ හැදුවේ, ඔයා ඔයාගේ ලයිෆ් එකම ඉවර කර ගන්නවා කියලා. අද එහෙම කියපු අය එක්කෝ සෙපරේට්, නැත්නම් බබාලා පොඩියි. අද ඉතින් මම කලාවෙන් යම් පසුබෑමක් තිබ්බට දරුවෝ තුන්දෙනත් එක්ක මගේ ජිවිතේ සම්පූර්ණ වෙලා තියෙනවා. මම පවුල් ජීවිතේට මුල් තැන දීලා කලාව කැප කළා.

වේදිකාවට ඇරයුමක් ඇවිත් නේද තියෙන්නේ?

ඇත්තෙන්ම ඔව්. ඒ ගැන කියන්නම ඕනේ. අපේ රටේ ප්‍රවීණ රංගධරයෙක් වන සොමී රත්නායක මහතාගේ වැඩසටහනක් කරන්න මට ලැබුණා. එතැනදී ඔහු මට ආරාධනා කළා ඔහුගේ ඊළඟ වේදිකා නාට්‍යයේ ප්‍රධාන චරිතය කරන්න.

අනුෂා රණසිංහ
උපුටා ගැනීම සිළුමිණ