Biz Log
Classifields
Biz Log
Classifields

රඟපෑමත් දැලි පිහියෙන් කිරි කනව වගේ වැඩක්

තාරා කළුආරච්චි රංගනයට එන්නෙ නිරූපණ ක්‍ෂේත්‍රය හරහා. මේ දිනවල ලලයි ලිලයි ලයි සහ හිච්චි යන ටෙලි නාට්‍ය එක්ක ඇය ගැන බොහෝ දෙනා කතා වෙනවා. මේ, මීවිත අපිට තාරා කිව්ව අලුත්ම තොරතුරු.

තාරා, ලලයි ලිලයි ලයි සහ හිච්චි යන ටෙලි නාට්‍ය ගැන කතා කළොත්?

මේ නිර්මාණ දෙකම ගොඩක් හොඳයි. මේ දවස්වල ටේ‍රන්ඩිං වෙලා තියෙනව. නමුත් මෙහි එන චරිත දෙක එකිනෙකට වෙනස්.

මේ චරිත දෙක මොන වගේද?

හිච්චි ටෙලි නාට්‍යයේ ඩයනා කියන්නෙ තමන්ගේ උත්සාහයෙන් තැනකට ඇවිත් පිටරටක ජීවත්වෙලා නැවත ලංකාවට ඇවිත් තමන්ගේ පවුල ආරක්‍ෂාකරගැනීමට සහ තමන්ගේ සැමියා වෙනුවෙන් සටන් කරන සැරපරුෂ, දැඩි තීරණ ගන්නා කෙනෙක්. ජීවා කියන්නෙ තවම වයසින් මුහුකුරා නොගිය, හැමදේම සැහැල්ලුවෙන් හිතන කෙනෙක්.

වැඩි ප්‍රතිචාර ලැබෙන්නෙ?

මේ චරිත දෙක ගත්තොත් ජීවා ට ලැබෙන ප්‍රතිචාර ගොඩයි. මෙතනදි විශේෂයෙන් කියන්න ඕනා, ලලයි ලිලයි ලයි විකාශය වන වේලාවට සාපේක්‍ෂව හිච්චි විකාශය වන වේලාවට වැඩි ප්‍රේක්‍ෂක පිරිසක් රූපවාහිනිය ඉදිරියේ රැඳෙනව. ජීවාට වැඩි ප්‍රේක්‍ෂක ප්‍රතිචාරයක් ලැබෙන්න ඒකත් හේතුවක් වෙන්න ඇති. හිච්චි නිර්මාණයට සම්බන්ධ වෙන්න මට අවස්ථාව හදල දුන්නෙ මිලින්ද මඩුගල්ල අයියා. ඔහුටත් ස්තූතිවන්ත වෙන්න ඕනා.

ලලයි ලිලයි ලයි ටෙලියට අවස්ථාව ලැබෙන්නෙ කොහොමද?

මේ අවස්ථාව මට ලැබෙන්නෙ සුපුන් අයියා හරහා. ඔහුම තමයි මට මේ නිර්මාණයට සම්බන්ධ වෙන්න කියල ආරාධනා කරන්නෙ.

නිරූපණ කටයුතුවලින් ඈත් වෙලාද?

තාරා කළුආරච්චි කියන චරිතය කරළියට එන්නෙ නිරූපණ ශිල්පිනියක් හැටියට. කලා ක්‍ෂේත්‍රයට එන්නෙත් නිරූපණය හරහා. මගෙ ජීවිතේ මම කැමතිම වෘත්තිය ඒක. රඟපෑම මට හම්බවුණේ දෙවැනි අවස්ථාවේදී. ප්‍රධාන වශයෙන් මම කරන්නෙ මනාලියන් නිරූපණය. අදටත් මම ඩ්‍රාමා එකකට එකතු වුණත් ගොඩක් අය දන්නෙ මොඩ්ලින් කරන තාරා කියන නමින්. ඉතිං මට නිරූපණයෙන් ඈත්වෙන්න පුළුවන්කමක් නැහැ.

මේ ඔබේ සිහිනයක්ද?

මම මුලින්ම මනාලියක් විදිහට හැඩ වෙන්නෙ උසස් පෙළ කරන කාලෙ. ඒ කාලෙ ඉඳන් මගේ හීනයක් තිබුණ සැලූන්වල ප්‍රචාරක පුවරු දකිනකොට අනේ මටත් මෙහෙම ඉන්න තිබුණා නම් කියල. ඇත්තටම අද මට කියන්න සතුටුයි, යාපනයේ ඉඳන් මාතරට යනතුරු ගොඩක් ජුවලරි ෂොප්වල ප්‍රචාරක පුවරුවල මම ඉන්නව අද මම දකිනව. ඒක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් මම හැම මොහොතකම දැකපු හීනය අද සැබෑ වෙලා.

මානාලියක් ලෙස හැඩ වුණ වාර ගණන මතකද?

මම දැනට එක්දහස් පන්සිය වාරයකට වඩා මනාලියක් ලෙස හැඩවෙලා තියෙනව. සාම්ප්‍රදායික විදිහට වගේම සම්ප්‍රදායෙන් පිටත් මම මනාලිය නිරූපණය කරල තියෙනව.

ෆැෂන් ෂෝ සහ මනාලිය නිරූපණය ගත්තොත් ඔබ වඩාත් කැමති?

මම මේ දෙවිදිහටම ඉදිරිපත්කිරීම් කරල තියෙනව. පුද්ගලිකව මම වඩාත් කැමති මනාලියන් නිරූපණයට.

රංගනයට යොමුවෙන්නෙ කොහොමද?

මගේ මුල්ම ටෙලිනාට්‍ය එන්කවුන්ටර් 2 නිර්මාණය අධ්‍යක්‍ෂණය කරන්නෙ විශ්ව ලංකා. ඩිලාන් අයියා නිසා තමයි මට මේ අවස්ථාව ලැබෙන්නෙ. ඉන් පස්සෙ හර්ෂ උඩකන්දගෙ ලොක්කි 2 වගේ නිර්මාණ කිහිපයකටම රංගනයෙන් දායක වුණා.

‘ලලයි ලිලයි ලයි’ තරුණ පරපුර අතර වැඩියෙන් ජනප්‍රිය වෙලා?

ඔව්, ‘ලලයි ලිලයි ලයි’ මේ දවස්වල ටේ‍රන්ඩිං වෙලා තියෙනවා වගේම යෞවන යෞවනියන් අතර බොහොම ජනප්‍රිය වෙලා තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕන, ටෙලිය මේ තත්ත්වයට එන්නෙ එහි රංගනයේ යෙදෙන නළු නිළියන්ගෙ දක්‍ෂතාව නිසා.

ක්‍ෂේත්‍රය ඔබට මොන වගේ තැනක්ද?

රංගන ක්‍ෂේත්‍රය හොඳයි. නමුත් දැලි පිහියෙන් කිරි කනව වගේ වැඩක්. අපි හරි දෙයක් තෝරාගෙන මේ ගමන ගියොත් ඉස්සරහට යන්න පුළුවන්.

තාරා දිගටම රඟපානවා?

ඔව්, දැනට එහෙම අදහසක් තියෙනව. හොඳ නිර්මාණ ලැබුණොත් මම දිගටම රඟපායි.

ඔබ රිදී තිරයටත් එකතු වුණා?

මම මේ වන විට චාමිකර අයියගෙ චිත්‍රපටයකට රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඊට අමතරව උදයකාන්ත වර්ණසූරිය මහත්මයාගේ කොස්තාපල් පුඥ්ඥසෝම සහ ගිනි අවි සහ ගිනි කෙළි චිත්‍රපටවලට සම්බන්ධ වුණා.

කැපිලි කෙටිලි තිබුණද?

නිරූපණයේදී මට කැපිලි කෙටිලිවලට මුහුණ දෙන්න සිදු වුණේ නැහැ. මොකද මම ඉගෙනගෙන ආවෙ. තමන්ගෙ ජොබ් එක හරියට කරනවානම් කැපෙන්න දෙයක් නැහැ. දැන් ඉන්න ළමයි එකවරම එනව. කවුරු හරි කෙනෙක් කතාකරල බ්‍රයිඩ්ල් ෂූට් එකක් කරපු ගමන් එයා මොඩ්ල් කෙනෙක්. එතැනින් පස්සෙ වැඩි දුරක් යන්න බැහැ. මෙනතට එන අය ක්‍ෂේත්‍රය ගැන ටිකක් හරි හදාරලා තියෙන්න ඕනා. එහෙම වුණොත් ඉදිරි ගමනක් තියෙයි.

තාරාට සීමා මායිම් තියෙනවද?

ඔව්, මම ඉන්නෙ ලංකාවේ. මගේ පවුලේ අය ඉන්නව. සංස්කෘතිය තියෙනව. ඒ දේවල් එක්ක සමහර ඇඳුම්වලදි අපි සීමාවන් තියාගන්නව.

ගමේ ඉඳන් කොළඹ එන්නෙ නිරූපණයටමද?

නැහැ, මම ගමේ ඉඳන් එන්නෙ ටුවරිසම් කරල ගයිඩ් කෙනෙක් විදිහට. මම ආශ්‍රය කරන්නෙ විදේශිකයො සහ මම හැදෙන්නෙ එහෙම පසුබිමක. කවුරු හරි මගෙන් ඇහුවොත් ඔයා කරපු සුන්දරම රැකියාව මොකක්ද කියල, මම කියන්නෙ ටුවරිසම් කියල.

ඇයි ඒ තරම් සුන්දර ජොබ් එකක් අතහැරියෙ?

අපි ටුවරිසම් කරනකොට සති ගණන් එක දිගට යන්න වෙනව. එතකොට මට වෙන වැඩක් කරගන්න වෙලාවක් නැති වෙනව. මේ හේතුව නිසයි ජොබ් එකට සමුදෙන්න සිදු වුණේ.

තාරා මොන වගේ චරිතයක්ද?

පුද්ගලිකව ගත්තොත් මම හරියට තරහ ගන්න චරිතයක් සහ මගේ ජොබ් එක හරියටම කරන කෙනෙක්. ඒ වගේම කිසිම කෙනකුගෙ දෙයක් කෙයාර් කරන්නෙ නැති කෙනෙක්.

තාරා සැබෑවටම මනාලියක් වෙන්නෙ කවදාද?

ඒ ගැන තවම හිතල නැහැ.

උපුටා ගැනීම දිවයින