Biz Log
Classifields
Biz Log
Classifields

අල්ලේ සලකුණු හෙළි කරන පලාපල


  • රේඛාවක අග හෝ මුල ත්‍රිශූල සලකුණක් ඇත්නම් ඉතාම සුබයි
  • යව සලකුණු පිහිටන්නේ වාසනාවන්ත පුද්ගලයන්ගේ අත්වලයි
  • මත්ස්‍ය සලකුණ ඉතාමත් සුබ පලදෙන පිහිටීමක්

හස්ත රේඛා විද්‍යාව අනුව අල්ලක් පරික්ෂා කිරීමේදී ප්‍රධාන වශයෙන් අල්ලේ පිහිටි රේඛාවල ස්වභාවය හා මණ්ඩලවල ප්‍රබලතා සහ දුබලතා අනුව පලාපල කීමට හස්ත රේඛා ශාස්ත්‍රඥයා පියවර ගනී. මේ අතර අල්ල සියුම්ව පරික්ෂා කිරීමේදී අල්ලේ යම් යම් ස්ථානවල විශේෂ සළකුණු ද පිහිටා තිබෙනු දැකිය හැකිය. ඒ තුළින් පුද්ගලයාට ලැබෙන විශේෂ සුබ අසුබඵල සාමුද්‍රක විද්‍යාවේ සඳහන් වෙයි. මේ එවැනි විශේෂ සලකුණු කීහිපයක් ගැනයි.

1. ත්‍රිශූලය

ත්‍රිශූලය යනු උල් තුනකින් සැදුණ ලකුණකට බව අංක 1 රූප සටහනින් ඔබට පැහැදිලි වනු ඇති. කිසියම් රේඛාවක මුල හෝ අග ත්‍රිශූලයක ලකුණක් වැටී ඇත්නම් එම රේඛාවෙන් උත්පාදනය වන බල ශක්තිය තුන් ගුණයකින් වැඩිවෙන බව හස්ත රේඛා විද්‍යාවේ නිගමනයයි. මණ්ඩල මත ස්වාධීනව දිස්වෙන ත්‍රිශූල ලකුණ ගුරු මණ්ඩලය මත වැටී ඇත්නම් ඔහු හෝ ඇය ධනවත් වන බවට සලකුණකි. දැඩි ආගමික භක්තියක් ඇති අයගේ ශනි මණ්ඩලය මත ත්‍රිශූල ලකුණ විද්‍යාමාන වන අතර ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ රවි මණ්ඩලයෙහි බොහෝවිට එවැනි ලකුණු දිස්වෙයි. බුධ මණ්ඩලය මත ත්‍රිශූල ලකුණක් තිබීම ව්‍යාපාර කටයුතුවලින් වඩා දියුණුවිය හැකි අතර චන්ද්‍ර මණ්ඩලයෙහි පිහිටන ත්‍රිශූල ලකුණින් ප්‍රකාශ වන්නේ ඔහු හෝ ඇය ගුප්ත විද්‍යාවන් කෙරෙහි සහජ දක්ෂතා ඇති අයකු බවයි. කුජ මණ්ඩලය මත පිහිටන ත්‍රිශූලයෙන් අභීත පුද්ගලයකු මූර්තිමත් වෙයි.

2. කාක පාදය

මෙම සලකුණ ඉතාම අසුබ පිහිටීමකි. ත්‍රිශූලයේ උල්තුන පහලට හැරී තිබුණොත් එහ හඳුන්වනුයේ කාක පාදය ලෙසයි. 2 වැනි අංකයෙන් කාකපාදයේ සාමාන්‍ය පිහිටීම දැන් බලන්න. කාගේ හෝ අතක කාක පාදයක ලකුණක් ඇත්නම් ඔහු හෝ ඇය කරන කියන හැම දෙයක්ම අසාර්ථක වන බව කිව හැකියි.

3. මත්ස්‍ය සලකුණ

රූප සටහනේ 3 වැනි කොටුව දැන් බලන්න. එයට තමයි මත්ස්‍ය ලකුණ කියල කියන්නේ. මත්ස්‍ය (මාළු) ලකුණ මණ්ඩල මත වගේම රේඛා ආශ්‍රිතවත් පිහිටිය හැකිය. රේඛා බණ්ඩි ගැසීමෙන් බොහෝවිට එම ලකුණ පිහිටන බව කිව යුතුයි මත්ස්‍ය ලකුණ ඉතාමත් සුබ ඵලදෙන පිහිටීමක්. අනේකවිධ භාව භෝග සම්පත් ලැබීමට ද එය හේතුවක් වෙයි.

4. ස්වස්තිකය

අප භාග්‍යවත් බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී හස්ත ගතවත්, ශ්‍රීපාද ගතවත් විද්‍යමාන වූ ස්වස්ත්‍රික සලකුණ මහා මංගල ලක්ෂණයක් බවයි භාරත හස්තරේඛා ශාස්ත්‍රයෙහි සඳහන් වන්නේ. පුරාණ ග්‍රීක ජනතාවත් එය උත්තම ලක්ෂණයක් වශයෙන් පිළිගත් බව ඓතිහාසික මූලාශ්‍ර මගින් පැහැදිලි වෙයි. මොනයම් ක්‍රමයකින් හෝ උත්තරීතර භාවයට පත්වෙන පුද්ගලයෙක් ස්වස්ත්‍රික ලකුණින් හඳුන්වා දෙයි. 4 වෙනි කොටුවෙන් එම සලකුණ හඳුනා ගන්න.

5. යව සලකුණ

යව සලකුණ කියන්නේ වී ඇටයකට සමාන හැඩරුව ඇති සලකුණකි. එය සංකේතවත් කරයි. මෙය බොහෝවිට ඇඟිලිවලත්, ඇඟිලි පුරුක් අතරත් පිහිටිය හැකිය. වී හැඩයක හැඩයෙන් මහපටගිල්ලේ මැද පුරුකේ පිහිටන එම සලකුණේ සාමාන්‍ය පිහිටීම 5 වැනි කොටුවෙන් දැක්වේ. පෙර අත්භවයන් හිදී කරන ලද නොමද පින්බල ඇති වාසනාවන්තයින්ගේ අත්වල පිහිටන ලකුණක් වශයෙන් එය විග්‍රහ කළ හැකිය. රජයේ උසස් නිලධාරීන්ගේ, දේශපාලකයින්, ව්‍යාපාරිකයන් වැනි අයගේ අත්වල බොහෝ විට යව සලකුණු පිහිටිය හැක. යව සලකුණු ඇති අයට කවදාවත්ම අඟ හිගයක් ඇති නොවේ.

6. කතිර සලකුණ

මෙම සලකුණ අල්ලේ පැහැදිලිව සටහන්වීම බොහෝ විට විපත්තිදායක වේ. සුබ පලයක් ඇතිවන්නේ කලාතුරකිනි. කතිර සලකුණ වඩාත්ම සුබඵල ගෙන දෙන්නේ ගුරු මණ්ඩලයටයි. වෙනත් රේඛා එක්වීමක් නොමැතිව හුදෙකලාව කතිර සලකුණක් ගුරු මණ්ඩලයේ පිහිටියේ නම් එය වාසනාවන්ත විවාහ දිවියකට හේතුවේ. සිදුවන කාලය, කතිරය පිහිටි ස්ථානය අනුව නිගමනය කළ යුතුය. ජීවන රේඛාව පටන් ගැන්ම අසල නම් අවුරුදු විස්සට නුදුරුව ද, මණ්ඩලය මැද නම් මැදි වයසේදී සිදුවේ.දෛව රේඛාව ස්පර්ශ කරමින් ශනි මණ්ඩලයේ නම් ජීවිත හානි ද, මැදගිල්ලේ නිය සහිත පුරුකේ නම් දරුපල හීන වීම ද, රවි මණ්ඩලයේ නම් ධන හානිද, බලාපොරොත්තු කඩ වීම්ද, බුධ මණ්ඩලය යට පිහිටි කුජ මණ්ඩලයේ නම් දරුණු තුවාල ඇති වීමට ද, චන්ද්‍ර මණ්ඩලයේ නම් දියේ ගිලීමෙන් සිදුවන අනතුරු ද පෙන්නුම් කරයි.

7. චතුරස්‍ර හෙවත් කොටු සලකුණු

මෙය අනතුරු විපත් ආදියෙන් ආරක්ෂා කිරීමේ සලකුණක් ලෙස සැලකේ. කිසියම් රේඛාවක හෝ මණ්ඩලයක අනිෂ්ටපල ප්‍රකට කෙරෙන ස්ථානයක කොටු සලකුණ තිබීමෙන් එමගින් ලැබිය හැකි උවදුරුවලින් ආරක්ෂා වෙයි. ඇතැම්විට ප්‍රධාන විහිද යැමේදී එම රේඛාව අතරමගදී කැඩී ටික දුරක් කිසිම සටහනක් නොමැතිව හිස් වෙන්නට හැර එසේ තිබියදී නැවත රේඛාව විහිද යයි.

එබදු අවස්ථාවක කැඩුණු රේඛා දෙක ස්පර්ශ වනසේ ඒ මැදින් කොටු සලකුණක් පිහිටීමෙන් ප්‍රධාන රේඛාව කැඩීමෙන් ඇතිවන අසුබ විපාක මග හැරේ. ජීවන රේඛාව එසේ වූ විට මරණය සහිත රෝගවලින් ද, ශීර්ෂ රේඛාවෙන් නම් මානසික ආබාධවලින් ද රවි රේඛාවේ නම් කීර්තිය හා ධන හානිවලින් ද, දෛව රේඛාවේ නම් ආපදා, ධන හානි ආදියෙන් ද අත් හිමියාට ආරක්ෂාව සැලසේ.

ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී හිඹුටානේ පියතිලක ද අල්විස්
උපුටා ගැනීම සිළුමිණ