Biz Log
Classifields
Biz Log
Classifields

කටක ලග්නයෙන් උපන් ඔබ ගැන

කටකය චර රාශියකි. ජල ධාතුවට අයත්වේ. මේ චර ගුණයත් ජල ධාතුවේ ස්වභාවයත් ඔබේ ජීවිතයට ආත්මයට සම්බන්ධ වේ. දුකට සැපට සෑම කරුණකටම මෙහි ඇති පිහිටි ගුණය බලපවත්වයි.

කකුළුවාගේ රූපසටහනකින් කටක රාශිය හඳුන්වයි. වැටහීම,අවබෝධය, ඇසීම, පෙනීම ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරිත්වය ප්‍රබලව පවතී. සමාජයට ඉතාම හිතවත්ය. හිතවත් අයට ආචාර සමාචාර පවත්වන අයට ඉතාමත් ළැදියාවක් දක්වයි. තමා අපි‍්‍රය කරන අය කෙරෙහි අවිශ්වාසය පවතී. අතීතය දෙස බලා අනාගතය ඉසුරුමත් කර ගැනීමට උත්සාහ ගනී. දුර දක්නා නුවණ පවතින අතර ආරක්ෂාව ගැන ද තියුණු ලෙස සිත බලා කටයුතු කරයි. ඉගෙනීම ලබා පූජනීය උසස් දිවි පෙවෙතක් ගත කිරීමට ලැබෙන අතර එසේ නොවුවහොත් ත්‍රාසජනක දිවියක් ගත කරනු ඇත.

කටක ලග්නයේ අධිපතියා සඳු වන අතර බ්‍රහස්පතිගේ උච්ච රාශිය වන්නේද කටක රාශියයි. සාමාන්‍ය ප්‍රමාණයේ සිහින් ශරීරයක් වන අතර දික්වූ අවයව පවතී. පි‍්‍රය, සෞම්‍ය මුහුණූ වේ. සිතට අධිපති සඳුගේ රාශිය වන කටකයේ උපන් අය උසස් තීක්ෂ්ණ සිතුවිලි ඇති දුටු දේ කිරීමෙහි සමත් ක්‍රියාසූර අය වෙති. කෙළින් අදහස් ඇති රහස් නැති ධනවත් අය වෙති. අඹුදරු ආදීන්ට ඉතා හොඳින් සලකන ගෙදර වාසයට කැමති අය වෙති. දාර්ශනිකයෝ චින්තකයෝ මේ රාශියේ ඉපිද ඇත. චන්ද්‍රයා ලග්නයේ නම් ඉතාම යහපත් වේ. කටකයේ ගතිගුණ නියමාකාරයෙන් ලැබේ.

කටක ලග්නයෙන් දෙවැනි ස්ථානය සිංහ රාශියයයි. එය රවිට අයත් වේ. රජයෙන් ඔබට ලැබීම් ඇත. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලටද සුබදායක වන අතර, ඉඩකඩම් පිළිබඳ කටයුතුවලින්ද ලාභ ලැබිය හැකිය. හික්මීම ඇති කර ගතහොත් දියුණුව වඩාත් ස්ථිර වේ. ගරු සම්මානයට මුදල් ඉපැයීමට තදින් ආශා කරයි. ජීවිතයේ එක් අවස්ථාවකදී හෝ විශාල මුදලක් ලැබේ. අන්‍යයන්ගේ ඇද කුද නොබලා වැඩකටයුතු කළ යුතුය. මහලු වයසේදී වුවද ස්ථිර ආදායම් ලැබීමට භාග්‍යය ඇත.

කටක රාශියෙන් තුන්වැනි රාශිය බුධට අයත් කන්‍යාවයි. රාහුටද අයිතියක් තිබේ. කුඩා කාලයේ ඉගෙනීමට බාධා ඇතිවේ. මෙනිසා අවුරුදු 16 පසුවන තුරුම මව්පියන් ඒ ගැන උනන්දු වී අධ්‍යාපනයේ යෙදවිය යුතුය. නැතිනම් පිරිහීමට පත්වේ. ආශ්‍රය කරන අයගේ අදහස් ගැනීම නිසා නොමඟට යැවේ. පොතපතින් ඉගෙනගත හොත් ඉතා බුද්ධිමතෙක්, සාහිත්‍යධරයෙක් වීමේ භාග්‍යය ඇත. වීර චරිතවලට ඉතාම කැමතිය. ඒ ගණයේ පොතපත කියවීමට ආශා කරයි. නෑදෑයන් සමඟ ළඟ ආශ්‍රය අයහපත්ය. නෑදෑයන් නිසා මතක හිටින කරදර, දියුණුවට බාධා ඇතිවේ. ස්ථිර අධිෂ්ඨානයෙන් ක්‍රියාකිරීම දියුණුවට මුලයි.

කටක රාශියෙන් සිවුවැනි රාශිය වන්නේ තුලා රාශියයි. එය සිකුරුට අයිතිවන අතර සෙනසුරුගේ උච්ච භවනයයි. වැඩිපුර සැනසිලිදායක වන මහලු කාලයේ දේපළ ඉඩකඩම් පිළිබඳ බලවතෙක් වේ. වයස අවුරුදු 35න් පසු ක්‍රමයෙන් දියුණුවට පා තබයි. කුඩා කාලයේදී අසනීප කරදර නිසා මව්පියන්ට ද පීඩා විඳින්නට සිදු වේ.

කටක රාශියෙන් පස්වැනි රාශිය වෘශ්චික රාශියයි. එය කුජ හෙවත් අඟහරුට අයිති වේ. රාහු කේතු දෙදෙනාගේ උච්ච රාශිය ද එයයි. මේ නිසා උනන්දුව, උද්‍යෝගය ඔබ සතුවේ. මුදල් යොදා කරන ව්‍යාපාරවලින් දියුණුව සැලසේ. වැඩිමහල් පිරිමි දරුවා හිතුවක්කාර ගති ඇති අයෙකු වේ. ඔහු වෛද්‍ය විද්‍යාවට භෞතික විද්‍යාවට සම්බන්ධ අයෙක් විය හැකිය. ඔහුට හෝ ඇයට යුද සේවාවන්හි නිලතල ලැබීමට ඉඩ ඇත. මහලු කාලය දරුවන් නිසා සැනසීම ඇතිවේ.

කටක රාශියෙන් හයවැනි රාශිය වන්නේ ධනු රාශියයි. එය ගුරුට අයත් වේ. රෝග පිළිබඳව මේ ස්ථානයෙන් දත යුතු වේ. ලේ දූෂ්‍ය වීමේ රෝග හටගනී. අක්මාව දුර්වලවීම සහ ඕනෑවට වඩා කෑම ගැනීම හේතුවෙන්ද රෝග හටගත හැකි බැවින් ක්‍රමානුකූලව ආහාර ගැනීමෙන් නිරෝගීමත් ජීවිතයත් ගත කළ හැකිය. රෝගයවලදී අප්‍රමාදව ප්‍රතිකාර ගත යුතු ය. පපුව හා උදරය ද රෝගවලට ලක්වේ. වාහනවලින් වන තුවාල සහ කලකෝලාහලවලින්ද අනතුරු සිදුවිය හැකිය.

කටක රාශියෙන් හත්වැනි රාශිය වන්නේ සෙනසුරුට අයත් මකර රාශියයි. කුජගේ උච්ච රාශියයි. විවාහය පිළිබඳ තොරතුරු මේ කලත්‍ර ස්ථානයෙන් දත හැකිය. භක්තිමත් ගුණ ගරුක යහපත් පැවැතුම් ඇති පි‍්‍රයමනාප හොඳ කාන්තාවක් විවාහයට ලැබේ. විවාහයෙන් පසු දියුණුව ඇතිවේ. දෙදෙනා අතර ප්‍රබල සම්බන්ධයක් පවතී. අවිශ්වාසය නැතිව සතුටුදායක ජීවිතයක් ගත කළ හැකිය. ස්ත්‍රී පක්ෂය නිසා ලාභ ප්‍රයෝජන ඇප උපකාර ලැබෙන අතර ස්ත්‍රියක් නිසා යම් කරදරයක් ඇතිවීමටද ඉඩ තිබේ.

කටක රාශියෙන් අටවැනි රාශිය වන්නේ කුම්භයයි. එය අයිති වන්නේ සෙනසුරුටය. ජීවිතයේ සෑම කරුණක්ම අහම්බෙන් නොසිතූ නොපැතූ අවස්ථාවල සිදුවේ. ශල්‍යකර්ම කිරීමේදී සුබ ග්‍රහ බලපෑම් තිබෙන අවස්ථාවලදී කළ යුතුය. හදිසි ධන ලාභ ලැබීමට වාසනාව ඇත. දරුවන්ගේ පින හේතුවෙන් ඉඩකඩම්වලටද ලැබීම් ඇත. අනතුරුවලින් ජීවිත හානිය නොවන අතර හදිස මරණයක් සිදුවේ.

කටකයෙන් නවවැන්න මීන රාශියයි. එය ගුරුට අයිති වේ. සිකුරුගේ උච්ච රාශියයි . ආගම ධර්මයට ළැදිවන අතර ගුප්ත විද්‍යා, භූත විද්‍යා අංශවලටද සිත ඇදී යයි. උගත්කම අනුව ඔබ දන්නා ශාස්ත්‍රවල දැනුම අඩු වැඩිවේ. විදේශ සංචාරවලටද වාසනාව ඇති අතර විදේශිකයන් හා සම්බන්ධකම් පැවැත්වීමෙන් ප්‍රයෝජන ලබා ගත හැකිය.

කටකයෙන් දසවැන්න මේෂ රාශියයි. එය කුජට හෙවත් අඟහරුට අයිතිවන අතර රවිගේ උච්ච රාශියයි. නොදැනුවත්වම ආත්මාර්ථකාමී හැඟීම් පහළවීමෙන් ලෞකික දියුණුවට බාධා පැමිණේ. නොදැනුම්කම නිසා සත්‍යාවබෝධය නැතිවී නොමඟයාමට ඉඩ තිබේ. ඒ නිසා මහජන ගරු සැලකිලි අඩුවීමට නැතිවීයාමට ඉඩ ඇත. තදබල ලෙස උත්සාහ කිරීමෙන් දියුණුවක් ලබාගත යුතුයි. දියුණුව ලැබීමේදී නොයෙක් අවහිරතාවලට මුහුණපෑමට සිදුවේ. ඒවා ගණන් නොගෙන එඩිතරව කටයුතු කිරීමෙන් දියුණුව සලසාගත හැකිය. යම් යම් ලාභ ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් අන්‍යයන් කරන ව්‍යාජ ගරු සැලකිලිවලට නොරැවටිය යුතුය. රාජ්‍ය අංශයේ නිලතල දරන වාසනාව තිබෙන අතර ජලය සම්බන්ධ දේ රැකීරක්ෂා වශයෙන් සුදුසු වේ.

කටක රාශියෙන් එකොළොස්වැන්න වෘෂභයයි. එය සිකුරුට අයත්වන අතර සඳුගේ උච්ච රාශියද වේ. බොහෝ මිතුරු මිතුරියන් ආශ්‍රය කිරීමට ලැබේ. ඔවුන් විනෝදකාමි පී‍්‍රතියෙන් කාලය ගත කරන අයයි. ධනය මෙන්ම උසස් තත්ත්වයක් ඒ අය නිසා හිමිවේ. ඔබේ හිත නොයෙක් වර වෙනස්වනසුලු ගතියෙන් යුතු වන නිසා සමහර මිතුරන් දිගුකල් ආශ්‍රය කිරීමට නොලැබේ. එහෙත් පසුව අලුත් මිතුරන් ආශ්‍රයට ලැබේ. සමහර විට ඒකමතික තීරණ ගන්නා අයද ඔවුන් අතර සිටිය හැකිය.

කටක රාශියෙන් දොළොස්වැන්න බුධට අයත මිථුන රාශියයි. ගුප්ත දේවල්වලට කැමතියි. ඒවායින් ආර්ථික ලාභ ලබා ගැනීමට හැකි වේ. කතාබස් පරෙස්සමින් කළ යුතුය. අසල්වාසීන් ඔබට විරුද්ධව කටයුතු කිරීමට ඉඩ ඇත. නෑදෑයෝද ඒ අයට උදව් දෙති. කුමන්ත්‍රණ, නින්දා , අපහාස මේ නිසා ඇතිවිය හැකිය. මේ අවස්ථාවලදී සිතුවිලි හැඟීම් පාලනය කරගත යුතුය.

පච්ච හෝ දියපච්ච ගල් පැලඳීම යහපති.

ඡ්‍යොතිෂවේදී සෝමපාල විජේසූරිය
උපුටා ගැනීම සුබසෙත